Friday, December 4, 2009

බෙලහීන සෙනෙහස...


ගැටිස්සියක් කියල මිනිස්සු කියනකොට
ගස්සලා උන් දිහා බලපු මල් වයසට පා තබපු
අලුතම වගේ ඒ මුල්ම කාලෙ
උඹට මතක් වෙනවනම්.........

මුලු ලෝකෙටම හොරා අපි විතරක් තනි වෙච්චි
ඒ ගොම්මන් හැන්දෑවෙ...
ලා රතු පාට වලාකුලුවල ඇතිල්ලීගන
ඉර මුහුදට කිමිදුනු අපූරුවත්
උඹට මතක් වෙනවනම්......

ඒ නිශාවේ සුමිහිරියාව අස්සෙ
නුරාවේ ගිනිදැල් අපිව වෙලාගන්නකොට
උඹ තව තවත් මට තුරුල්වෙලා
මගේ හැඟීම් වලට ලංසු තියනකොට
මං උඹව තුරුල් කරගෙනම විතරක් හිටිය හැටිත්
උඹට මතක් වෙනවනම්.....

අද හැමෝගෙම ආශිර්වාද මැද
වෙන එකෙකුගෙ පපුවෙ සැතපෙනකොටවත්...
එදා මාව දාල එන්න හේතු උන දේමයි
අද උඹෙ පවිත්‍රත්වයට සාක්කි දුන්නෙ කියල
උඹට මතක් වෙනවනම්.....

මගෙ හිත හදාගන්න මට ඒ ඇති....

4 comments:

  1. උඹගෙ සෙනෙහස නෙමෙයි බං බෙලහීන..

    ReplyDelete
  2. හීන ගොන්නක් පොදි බැඳගෙන
    මල් වයසට පා තබපු
    නුඹ මට හමුවුනු ඒ මුල්ම කාලේ
    මට අද වගේ මතකයි...

    ඉර මුහුදට කිමිදුනු
    ඒ ගොම්මන් යාමයේ
    ලා සඳ මෝදු වෙනකම්
    නුඹත් එක්ක ඒ දිහා බලන් ඉඳපු
    (මොහොතකින් නුඹ මා වෙන් වූ)
    ඒ (අ)සුන්දර හැන්දෑවත්
    මට අද වගේ මතකයි...

    ඒ සොඳුරු නිශාන්තයේ
    නුරාවේ ගිනි දැල් අපිව වෙලාගන්නකොට
    මං නුඹේ හැගුම් වලට ලංසු තියද්දිත්
    නුඹ මාව තුරුල් කර ගෙන ම විතරක් නොහිටියා නම්...
    හැමෝගෙ ම ආශිර්වාද නැතත්
    ඇරඹුම අසම්මත වුනත්
    ජීවිතේ විඳවන්නෙ නැතුව
    අද අපිට අපේම ලෝකයක්
    හදා ගන්නත් තිබුනා...

    ඔව්....
    නුඹව දාලා එන්න හේතු වුන
    නුඹේ ඒ උත්තරීතර ඉවසීම,
    නුඹ මට ඉතිරි කල ගෞරවයම තමයි
    අද මගේ පවිත්‍රත්වයට සාක්කි දීලා
    නුඹවත්, මාවත් නොමරා මරන්නේ.

    ReplyDelete
  3. සිලූ, උඹේ කෙල්ල මං හිතන් හිටපු කෙල්ල නෙමේ...
    ඒත් උඹේ කවිය මගේ එකට වඩා ලස්සනයි...

    ReplyDelete
  4. මල් වයසට පා තබපු
    අලුතම වගේ ඒ මුල්ම
    කාලෙදිම නුඹව මට හමු
    නොවුනනම්...

    ලාරතු පාට වලාකුලු වල මුවාවෙලා
    ඉර අපි දිහා බලන් හිටපු
    ඒ ගොම්මන් වෙලවෙ ලෝකයටම හොරා
    නුඹත් එක්ක තනි නොවුනනම්...

    එකි ගසන ආත්මයක්
    නුරාවේ ගිනිදැල් වලින් අපේ හිත් වෙලා ගනිද්දි
    නුඹේ ආදරයේ සුසුම් වලට
    ඒ ගිනිදැල් නිවන්නට පුලුවන් වුනානම්...

    මගේ ජීවිතයටත් වඩා නුඹේ ආදරයට
    මම ආදරේ බව එදා නිකමටවත්
    ඔය හිතේ ලේ නහර වලට යාන්තමට
    වගේ දැනුනනම්...

    හැමෝගෙම ආශිර්වාද මැද්දෙ
    වෙන කෙනෙකුගෙ පපුවට තුරුල් වෙලා
    ආදරේ මතක හිතේ අහුරගෙන
    කාටවත් නොපෙනෙන්න
    බිමට වැටුන කදුලු වලට හේතුව
    නුඹ නොවෙන්න තිබුන එහෙනම්...

    සත්තයි මගෙ හිතත් හදාගන්න තිබුන මට එහෙමනම්...

    ReplyDelete